Friday, September 20, 2013
පූදින පැතුම් මල්...
බිඳුනු සිතුවිලි අතර සිර වී..
සිටියදී මා ලොවම අතහැර..
ඔබ මා ලඟින් හිඳ සෙනේ පාමින්..
මහට නවමු පැතුමක් ලැබ දුනි..
පැවසිය හැකි වදන් අතුරින්..
ඔබට..
එකම නමයි මා තෝරාගන්නේ..
ඒ නම..
ආදරයම වේ..
Thursday, September 19, 2013
මතක මාවත ශුද්ධ පවිත්‍ර කරමු......
කස්ටිය ඉතින් කොහොමද?? කට්ටිය හොදින් ඉන්නවද?? ඔන්න ආයේ මාස 02 දවස් 18කට පස්සේ සචින් ආයෙත් මතක මාවතේ ඇවිදින්නෙක් වුනා.. උඹලට මාව මතකද මන්දා?? ආයේ එන්න ලැබුන එක ගැන නම් ගොඩක් සතුටුයි..
උඹලාට මතක ඇති මම මේ බ්ලොගේ මුල ඉදන්ම පෝස්ට් දැම්මේ මගේ ජංගම මෙව්වා එකෙන් කියලා.. ඒ කාලේ ආසාවටම බ්ලොගේ කළා මිසක් වෙන එකෙක්වත් මං තරම් පිස්සු වැඩක් කරන එකක් නෑ.. අන්තිමටම, ඒ කියන්නේ ජූලි පළවෙනිදා දැම්ම පෝස්ටුව ගොඩක් අය දකින්න ඇති කියලා හිතුනා.. එකට ලොකු හේතුවක් තිබ්බා.. දැන් හැමදෙයක්ම විසදිලා ඉවරයි.. දැන් මං ජීවිතේ සතුටෙන් ගතකරන්න ඉගෙන ගන්නවා ටික ටික.. එතකොට මාව උබලට අඳුනගන්න පුළුවන් වෙයිද මන්දා?? හිකි හිකි..
මගේ තිබ්බ ඩොන්ගලේ ලැප් එක වික්ක වෙලාවේ මං අම්මට විකුනන්න කියලා දීලා තිබ්බා.. අම්මා මට සල්ලිත් දුන්නා.. බලද්දී එයා ඩොග තියන් ඉදලයි මට සල්ලි දීලා තියෙන්නේ.. ලගදි මල්ලිගේ කොම්පියුටරේට මං රැම් එකක් ගහපු වෙලේ එයා මට ආයේ ඒක දුන්නා.. ඉතින් උඹලා හිතන්නේ මට මොනා හිතෙන්න ඇති කියලද?? හිතලා කියපල්ලා බලන්න..
අන්තිමට කියන්න ඕනා මට කාවවත් අමතක වුනේ නෑ.. රජා, නිශාන්, හෙන්රි අයියා, කරූ, ධාරා, කියාගන්න බෑ, ඩ්රැකී, ජෝන් අයියා, සුමිත් අයියා, මාතලන්, ශම්මි, අටමා, යසිත් සහ එකී මෙකී නොකී අය මට එක කමෙන්ට් එකකින් හරි දිරිය දීලා තියනවා.. ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.. ඉස්සරහට අධ්‍යයන වැඩ වැඩි වුනත් කොහොම හරි පෝස්ටුවක් කොටලා යන්න එන්නම්.. නම් නොකිව්ව අය තරහ වෙන්න එපා.. උඹලව අමතක නෑ මට.. පස්සේ හම්බ වෙමු.. සුබ අනාගතයක්...!!!!!!
Monday, July 1, 2013
නොසිතූ සිතුම් අතර හුදකලා වූ සිතුවිලි...
කෙසේ කියන්නද මා..
සියල්ල නොසිතුනු අයුරින් විසඳී ඇත..
මැවූ සිහින බොඳවී වියැකෙද්දී..
මම මුනිවත රැක්කෙමි..
දෑස් පියාගතිමි..
එහෙත්..
නොසිතූ ලෙස මා දැවුනි..
එදා මා සිතූ සිතුම්..
කවදා සැබෑ වේවිද??
තෙවැන්නන්ට මා ද්වේශ කරද්දීත්..
ඔබ ඉදිරියේ මා..
තෙවැන්නෙකු වූ අයුරු..
ආදරය කොතරම් මායාකාරීද??
මා නිරුත්තර වුනෙමි..
මිරිඟුව පසුපස හඹා ගොස්..
හති වැටුනු මා හට..
කාගේ නම් පිළිසරණක්ද??
ප්‍රේමය මෙන්ම..
විරහවද..
එකම කාසියක දෙපැත්තක් බව..
වටහාගතිමි..
නොලැබුනු සෙනෙහස..
අන් හදකට හිමිවනු දැක..
මා අසරණ විය..
නමුත්..
කුමක් කරන්නද??
ඒක පාර්ශ්වික ප්‍රේමය උතුම් වූවද..
අසම්මත මිම්මකි..
ඔබේ ආදරය අන්සතුය..
කෙතරම් අවංක වූවත්..
මගේ නොපෙනෙන ආදරේ..
අඩ මස්සක් තරම් හෝ..
ඔබට නොවටිනා බව පසක් විය..
තවත් මා කුමක් කරන්නද??
මගෙන් පලක් නැත..
මන්ද..
මම අවලංගු කාසියක්මි..
ඉතින්..
පිළිගන්න සුබපැතුම් මා..
ඔබගේ දිවියට..
සදා වාසනා..!!
ප.ලි
අපි හැමෝම ආදරේ කරනවා.. අපි හැමෝම අපි ආදරේ කරන කෙනා ගැන ගොඩක් හීන මවනවා.. ඒත් අපි ආදරේ කරන කෙනා වෙන කෙනෙක්ට අයිති නම්, අපිට මොනවා හිතෙනවා ඇතිද?? මාත් කෙනෙක්ට ආදරේ කළා.. එයා ගැන ගොඩක් හීන මැවුවා.. ඒත් ඒවා ඉපදිලා බොහොම ඉක්මනට මැරිලා ගියා.. ඒ එයා වෙන කෙනෙක්ගෙ උරුමයක් හින්දා.. මට දැනුනෙ මගෙ ජීවිතේ කවුරුහරි මගෙන් උදුරගෙන ගියා වගෙයි දැනුනෙ.. ඒ ගැන හිතද්දි එයාව මතක් වෙන්න මං කවි, නිසඳැස් ලියන්න ගත්තා.. මේ මගේ දෙවෙනි නිසඳැස.. මට පෙනුන විදීහට නම් නිසඳැසක්.. නිකන්ම නිකන් නිසඳසක්නෙමෙයි.. මගේ ආත්මීය හැඟීම් සේරම එකට එකතු කරලා ලියපු නිසඳසක්.. මේකෙ හැම වචනයක් ගානෙ මමයි මගේ ආදරෙයි ජීවත් වෙනවා.. හැම වචනයක් ගානෙ මං විඳවනවා..
හිතට දැනුනා නම් කියන්න.. විහිලුවක් වගේ පෙනුනා වුනත් කමක් නෑ.. කියන්න.. දෑස් කඩතිර හැර බලන්න කියලා අපේ කරූ කියනවා වගේ බලන්න.. එයා ලැබුනත් නැතත් මං ලියනවා.. ජීවිත කාලෙම හරි..
ලහිරු සචින්ද(සචින්)
Tuesday, June 4, 2013
මම බොහොම බය වුනා.. :O
ඇති යන්තම්..
එහෙනම් කතාවට යමු නේද??
මේ සිදුවීම වුනේ මේ අවුරුද්දෙ පාස්කුවට කලින් දවසෙ(මහ බ්‍රහස්පතින්දා) එදා තමා මං අර ගල්කිස්සෙ ට්‍රිප් එක ගියෙ.. ගල්කිස්සෙ ඉඳන් එද්දි පල්ලියෙ අඳුනන අක්කා කෙනෙක් මට කෝල් කලා මල්ලි අද මහ බ්‍රහස්පතින්දා.. හවස 7ට පූජාව.. ඉක්මනට එන්න කියලා.. මමත් ඉතින් ඕනවට එපාවට වගේ හා කියලා කිව්වා.. කොහොමහරි මං ගෙදර එද්දි වෙලාව හවස 6.40යි.. නාලා කරලා මං පල්ලියට යද්දි 7.30ත් පහු වෙලා.. කොහොමහරි දේව පූජාව 8ට ඉවරයි.. තව පූජා 3ක්ද කොහෙද තිබ්බා..
මං පල්ලියෙ තරුණ කතෝලික සංගමේ ඉන්න නිසා 9 ඉඳන් 10 වෙනකල් පූජාවටත් මං හිටියා.. අම්මලා නම් කලින් ගියා.. ටිකකින් මට සෙට් වුනා අපේ වයසෙ කොල්ලෙක් නුවන් කියලා.. ඌයි රොමේෂ් කියලා මගේ අයියගෙ යාලුවෙකුයි හිටියා..
ටිකක් කදේ දාගෙන ඉද්දි මට හිතුනා දැන් පූජාවට යන්න බෑ වගේ කියලා.. රොමේෂ් නම් පූජාවට ගියා.. මමයි නුවායි බයිලා ගගහා එලියට වෙලා හිටියා..
මං හිතන් හිටියෙ අර අක්කලත් එක්ක ගෙදර යන්න.. 10 පූජාවත් ඉවරයි මුං නෑ.. අනිත් එක ඉවර වෙන්නෙ 12ට කිව්ව නිසා නුවා ඇහුවා මචං අපි මොනාහරි කාලා එමුද කියලා.. මාත් මාරම බඩගින්නෙ හිටිය නිසා යමු කියලා ආවා පල්ලිය ඉස්සරහ කඩේට.. අරූ බැලුවා ෂෝට් ඊට්ස් මොනාද තියෙන්නෙ කියලා.. ඒත් ඒ හවස ඒවනෙ.. ෆ්‍රෙෂ් පිට කන දෙයක් ගැන හිතනකොට මට මතක් වුනා "චිකන් කොත්තු".. පස්සෙ අපි කොත්තු කෑවා.. ඒත් සල්ලි දෙන්න අමතක වුනා කරුමෙට වගේ.. අපි ඉතින් ආයෙ සල්ලි දෙන්න ගියෙ නෑ.. ඔහේ ආවා..
අපි යනකොට රොමේෂ් පල්ලියෙ ගේට්ටුව ලඟ.. අපිව හොයලා.. අපි කෑවා කිව්වම මූට අවුල් වගේ වුන නිසා අපි අර සල්ලි වලින් ආප්ප අරන් කෑවා.. කාලා අපි එලියට ආවා.. මට බැලුනෙ එක පාරටම පල්ලිය දිහා..
හුටා.. පල්ලියෙ දොරවල් වහලා.. ඔක්කොම ගෙවල්වල ගිහින්.. ඒක දැක්කම මට ඩෝප් වගේ වුනා.. ඇයි යකෝ පූජාව 12ට ඉවරයි කිව්වට 11.20 වෙද්දි පල්ලිය වහලා.. අරුන්ට කතාකලාම රොමේෂ් කිව්වා ඌට හෙට උදේ වැඩ ඒ නිසා එන්න වෙන්නෑ කියලා.. අරුත් ඌ එක්ක ගියා..
දැන් ඉතින් තනියම අද්දපංකො ගෙදරට.. මං හැම එකාටම බැන බැන ගෙදර එනවා.. වෙනදා මේ වෙලාවට මිනිස්සු ඉන්න පාරෙ එවෙලෙ බලු බල්ලෙක් නෑ.. ඔය වගේ වෙලාවටනෙ අර මනස අවදි වෙන්න ගන්නෙ.. කලින් කියවපු හොල්මන් කතා, බලපු ෆිල්ම් මතක් වෙද්දි ඇඟ හිඑඉවැටිලා ගියා.. හැස්ම අඩු වෙන්න සින්දුවක් දැම්මා.. ම්හූ.. වැඩි වෙනසක් නෑ.. ඔහොම එද්දි මං දැක්කා පාරෙ නිදාගෙන හිටිය කලු බල්ලෙක්.. ඌ අඩි සද්දෙට ඔලුව උස්සල මං දිහා බැලුවා.. මගෙ හිත ටිකක් ගැස්සුනා.. මං අම්මට කෝල් කලා.. රින්ග් වෙලා රින්ග් වෙලා ඔන්න අන්තිමට ෆෝන් එක ඉස්සුවා..
අම්මා - හෙලෝ..
මම - අම්මෙ තාත්තව ඉක්මනට එවනවද හදිස්සියක්..
අම්මා - හරි මං එවන්නම්..
ඇති යන්තම්.. මම සැනසුම් සුසුම් හෙල හෙල පාරෙ එනවා.. කිරි අප්පද බොල අර වගේම බල්ලෙක් පාරෙ ටිකක් එහාට වෙන්න නිදි.. ඌ ඔලුව උස්සලා මං දිහා බැලුවා.. මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුනා වගේ.. අර මූණමයි මුටත් තියෙන්නෙ..මං වේගෙන් වේගෙන් ඇවිදන් ආවෙ ඊලඟට මොන මරාලයක් කඩන් වැටෙයිද කියලා..
බ්‍රාස්ස්ස්... ඇති යන්තම් තාත්තා ඇවිත්..
ගෙදර ගිහින් අම්මලට මං සිද්ධිය කිව්වා.. ඒ අයත් බය වෙලා.. අම්මා තව දෙයක් කිව්වා..
අම්මා කෝල් එක දුන්න ගමන් තාත්තව ඇහැරලා.. අපේ තාත්තා සාමාන්‍යයෙන් කම්මැලි නෑ.. ඒත් එදා තාත්තව ඇහැරන්න හෙන අමාරු වෙලා.. අම්මා කාමරේට ගිහින් ආව ටිකට ආයෙ තාත්ත නිදිලු.. පස්සෙ කොහොමහරි අම්මා ආයෙ ඇහරවලා.. තාත්තා වාහනේ ස්ටාට් කරලා පාරට ගන්න යද්දි කවදාවත් නැතුව වාහනයක් හරස් කරගෙනලු.. හෙන අමාරුවෙන් තාත්තා ඇවිත් තියෙන්නෙ.. අම්මා කිව්වෙ එහෙමයි.. මටත් අග මුල පැටලිලා.. හිතාගන්නත් බෑ මොකක්ද ඒ කියලා..
ප.ලි
මේ ටිකේ පෝස්ට් වැඩිය ලියන්න බැරි වුනා.. සනීප තිබ්බෙත් නෑ, වැඩත් වැඩී.. ඉදිරියට දිගටම ලියන්න බලාපොරොත්තු වෙනවා.. ජය ශ්‍රී!!!!!





